විදුහල්පති පණිවිඩය
ඩබ්.එම්.යූ.ජී.යූ.කේ.බී.වීරසේකර මයා
සුවහස් සෞන්දර්‍යයන් දරා සිටින මිහිකතෙහි නොමද ආශිර්වාදය ලත් දුම්බර මිටියාවත සිසාරා, කිතුගොස නඟන, උඩුදුම්බර ද්විතීයික පාසල නම් ප්‍රදේශයේ වන ප්‍රධානතම විදු පියසයි. මෙරට නිදහස් අධ්‍යාපනයේ අග්‍ර පරමාර්ථ කරා සිසු දරුවන් යොමුකරමින්, ඔවුන් නව සියවසට උචිත පෞරුෂයන් සේ සමාජගත කිරීම විදුහලෙහි මූලික දර්ශනය යි. ඒ උදෙසා, සිසු දරුවා තුළ, මූලික සාක්ෂරතාවයේ සිට නව්‍ය සමාජ ශක්‍යතාවයන් දක්වා වන භෞතික හා අධ්‍යාත්මික කුසලතාවයන් මෙන්ම තමා, සමාජය සහ පරිසරය කෙරෙහි වන යහපත් ආකල්පයන් ද සංවර්ධනය කිරීම විදුහලෙහි ප්‍රමුඛ කාර්‍යයයි.
ප්‍රාදේශීය දරිද්‍රතාවය, සමාජ ආරක්ෂණයේ ඇති ආවේණික ගැටලු, අවිචාරවත් ලෙස සිදුවන නව තාක්ෂණයේ භාවිතය හා විවිධ හේතූන් ඔස්සේ ඇතිවන පරම්පරා ගැටුම, අප පාසලේ වත්මන් අධ්‍යාපන ක්‍රියාවලියේ ඵලදායීතාවයට අභියෝග කරන මූලිකම සාධක යි. මෙම අභියෝගයන් මඟහැරීමට, පවත්නා භෞතික හා මානව සම්පත කාර්‍යක්ෂමව මෙහෙයවමින්, ඉගෙනුම්-ඉගැන්වීම් පිළිවෙත කලමනාකරණය කිරීම පාසල් නායකත්වයෙහි අත්‍යන්ත වගකීම ලෙසින් අපි සළකමු. එකී වගකීම ඉටුකිරීමෙහිලා කැපවෙමින්, ක්‍රමයෙන් ගොඩනඟන පාසල් අභිමානය සමාජගත කිරීම පිණිස මෙම සමාජ මාධ්‍ය අවකාශය විවර කරන අතර, මෙම සමාජ ජාල පිටුවට අදාළව කෙරෙන මත පළ කිරීම් වැනි අන්තර්ක්‍රියාවන් ගෞරවනීයව සිදු කරන මෙන් ඉල්ලා සිටිමු.
ඩබ්.එම්.යූ.ජී.යූ.කේ.බී.වීරසේකර මයා
විදුහල්පති
මප/තෙල්/උඩදුම්බර ද්විතීයික පාසල.






